අමතකව

එක්තරා සමයක සඳටත් හොරෙන් සඳ එලියෙන්ම කුමන්ත්‍රණ කරපු උන් සඳට යලි නොඑන්නම අමාවක ගෙන ආහ අලුත් ඉරක් ගැන වගක් නොවූ උන් අව් කන්නාඩි පැළඳ අමුතු අඳුරකට පෙම් බැන්දහ උන්ට සරා සඳක සොමි පහසද අරුණෝදයක මන්ද රස්මියද අමතකව තිබුණහ අඳුරේම උන්නු උන් කණාමැදිරි පුකක් වන් එක රැයෙන් දිලී පරවන තාරුකා එලි දෙසම නෙත් යොමන් උඩ බලන් ඉන්නට ගත්තහ. තරුද තෙමේගේම ඌස්නය දරා ගත නොහී රාප්ත තප්තව දිලෙන්නට වන් කල එතරු කඩා බිම හෙළ මැයි සිතා ගල්ද බොරළුද දෝතින්ම ගෙන හිස් අහසට ඔහේ දමා ගැසූහ උන්ට තරු කැට අභිමුව දෝතට ගත් ගල් කැටයක සුමට රවුම් බවද විටෙක කඩතොළු රළු බවද අමතකව තිබුණහ. උන් තුගු රුකින් හෙබි අරණට ගිනි වැද කල් යල්ද නොබලා මෙගා හේන් කොටන්නට වන් කල වැසි දියක් නොලද්දෙන් කාබන් වායුන් වලාවලට ඉස ඉස කෘතීම වැසි මැවූහ රාත්‍රියේ ඇද හැලෙන පිනි වැස්ස උන්ට අමතකව තිබුණහ එකල්හි උඩ යැවු ගල් හිස මත්තෙහි වැටී වේදනාවෙන් බරිතව ගලට වෙර බැන්දහ නමුත් හිසක් ඇති බැව් ද උන්ට අමතකවම තිබුණහ.